සිදාදියට එන්නට මට
බුද්ධිය උඹ තමයි එදා
පාර කියා දුන්නේ
ගමෙන් උරුම වූ වස්තුව
පොදියක් බැඳ කර තියාන
උඹේ බහට රැවටීලයි සිදාදියට මං ආවේ
ඒ එන කොටගෙන ආ දෙය
වියපැහැදම් කළා මිසක
මෙහිදී අලුතෙන් ඉපයූ
කිසිම දෙයක් නැත්තේ
ඉස බර කළ පුහු නම්බුව
විතරයි මට ඇත්තේ
සිදාදියෙන් ආපසු මගෙ
ගමට යන්න ආසයි මට
ඒත් ගමට යන්නට දැන්
පාර මතක නැත්තේ
ඉතිරිව ඇති සුළු වස්තුව
රැකගෙන ආපසු එන්නට
ඈත ඉඳන් අත වනලා අම්මේ
මට ගමට එන්න පාර කියාපන්නේ
බෝමළුවේ සුදුවැල්ලේ
බෝධිය මුල දණ ගහලා
නිවන් ලබා හිත නිවන්න
අම්මේ මට ගමට එන්න පාර කියාපන්නේ
මැණික් ගඟෙන් දිය නාලා
ඇඟපත ගිනියම් දුරලා
කිලිකුණු හෝදා හරින්න
අම්මේ මට ගමට එන්න පාර කියාපන්නේ
වල් බිහි වී ගිය හේනේ
වල් පැල උදුරා දමලා
පැළ ඉනි වැට තර කරලා
අලුතෙන් බිජුවට ඉහලා
රන් අස්වනු නෙලා ගන්න ඈත
ඉදන් අත වනලා
අම්මේ මට ගමට එන්න පාර
කියාපන්නේ
-මහගමසේකර-
No comments:
Post a Comment