Monday, July 10, 2017


කවුරුවත් නෑ කවුරුවත් නෑ 
එගොඩට යන්නට-එගොඩට යන්නට 
ඉරගල වැටිලා ඉවුර දෙපැත්තේ 
අඳුර ගලනවා පාරුව ඇතුළට 
ලන්තෑරුම කෝගගගල ඔහෙ තිබුණා වේ 
කවුරුත් නෑ අද එගොඩට යන්නට 

දවසින් දවසට පාළම හැදුනා 
පාළම් මෝලේ හෙණ හඬ ඇසුණා 
කිරල කැලෑවේ කුරුළු කොබෙයියන් 
ගම හැරදා යන්න ගිහින්ගගග 

දෑතේ අතැඟිලි හබලට ගෙවුනා 
ගෙනියන්නට බැරි බර පොදි තිබුණා 
මෙතුවක්‌ නොමගිය බර අද දවසේ 
මට හිනැහීගෙන යනවා වාගෙයි 

පදමාලාව - හේමසිරි ගුණතුංග 
තනුව - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස 
ගායනය - අමරසිරි පීරිස්‌ 






ගී පද විචාරය:                        





ගොඩ මඩ දෙකම සරුසාරය පළ බරය
කටුරොද ගම්මානෙ තරමක් පිටිසරය
ඒ ගම මැඳින් ගලනා ගඟ මනහරය
කඩමණ්ඩිය පිහිටියේ ගම කෙලවරය


            කේයස් හෙවත් සාගර පලන්සූරිය කවියා ගමේ සුන්දරත්වය දැක තිබෙන්නේ මෙලෙසිනි. ගමයි පන්සලයි වැවයි දාගැබයි යන සංකල්පය තුළින් ගැමි සමාජය තුළ තිබූ සංස්කෘතිකත්වය ගම්මානයේ සිරියාව  මැනවින් පසක් කර දෙයි. ගම සමඟ බැඳී ඇති සුවිශේෂී සංකල්ප තුනක් ලෙස මෙම පන්සල, වැව, දාගැබ හැඳින්විය හැකිය. ගම සමඟ බැදී තිබූ මෙම සංකල්ප නිසාවෙන් ගමේ සුන්දරත්වය ආරක්ෂා වී පැවතුණි. ගම්වැසියන් වැව සමඟ විශාල සබඳතාවක් අතීතයේ පටන් පැවති අතර ගමේ ගමේ සුන්දරත්වය ගමේ ඇති ස්වභාව සෞන්දර්ය වැඩි වැඩියෙන් ඉස්මතු වන්නට එය හේතු විය.ගැමියන්ගේ ජිවිත කලඑළි වන්නේද  මේ වැව් දියෙන් සරුසාර වුණු වගා බිම් දැකීමෙනි. ගමේ ගහ කොළ සතා සිවුපාවුන් මෙන්ම ගමේ ජිවත් වන මිනිසුන්ගේ ජිවන රටාව, ජීවිතය මෙන්ම ජිවන වෘත්තිය වැනි සෑම දෙයකම පිටුපස මේ වැව් සංස්කෘතිය බැඳී තිබූ බවට අපේ අතීත මුතුන්මිත්තන් සාක්ෂි දරනු ඇත. ගමේ අසිරිය මෙලෙස වුවද අද වන විට ඒ අසිරිමත් ගම්මානයේ  සුන්බුන් පමණක් අපේ හදවත් වල ඉතිරි වී ඇත. විවෘත ආර්ථිකය, නාගරීකරණය සංවර්ධනය හමුවේ ගමේ සුන්දරත්වය වියැකී ගොස්ය.



                    1980 දශකය අගභාගයේ දී හේමසිරි ගුණසිංහයන් විසින් තොටියකුගේ ශෝකාලාපයක් පසුබිම් කර ගනිමින් විවෘත ආර්ථිකය හේතුවෙන් ගමට සිඳුවන විනාශය පිලිබඳ දක්වමින් ගී පද රචනයක් සිඳුකල අතර එහිදී නවීකරණය, නූතන ආර්ථික ක‍්‍රමවේදය විවේචනයට ලක් කර තිබේ. පාලමක් සෑදීමත් සමඟ පාරු පදින්නෙකුට අත්වන ඉරණම පිලිබඳ දක්වමින් මෙම ගීතයේ පද වැල් සකස් වී තිබේ. ගීතය තුළ දිසි අරුතක් සේම වැසි අරුතක්ද දැකගත හැකි අතර ඉතා ගැඹුරු අදහසක් තොටියකුගේ ශෝකාලාපයක් මාර්ගයෙන් පේ‍්‍රක්ෂක හඳ සංතානයට ගෙන එන්නට දැරූ උත්සාහයක් ලෙස පෙන්වාදිය හැකිය.ගැමි ජනතාව විවෘත ආර්ථිකය ඉදිරියේ මංමුලා වී ඇති අයුරු මෙම ගීතය තුළින් පෙන්වා දී ඇත.තොටියකුගේ හඳවතේ ඇති වූ සානුකම්පිත හැඟීම් ඇසුරු කර ගනිමින් නවීකරණයෙන් රටට ඇතිවන අයහපත් බලපෑම පිළිබඳව සමාජයට කියා පෑමට උත්සාහ කර තිබේ. 

                                                              වැවත් සමඟ ගමෙන් තවත් ගමක් වෙන් වී පැවති අතර වැව නිසා ගම්මානයෙන් සිදාදිය වෙන් වී පැවතිණි. සිදාදියට යන මාර්ගය සකස් වුයේ ගම්මානය මැදින් ගලන ගඟ හෝ වැව හරහාය. සිදාදියෙන් ගම ආරක්ෂා කරගන්නට මෙන් එකිනෙක වෙන්වන පරිදි  ගංගාවක් වැවක් පිහිටා තිබිණි. එමඟින් ගමේ සුන්දරත්වය මෙන්ම ගම්මානයද ආරක්ෂා විය. මිනිසුන් එගොඩටත් මෙගොඩටත් ගෙන යමින් ගමත් නගරයත් එකිනෙක යා කරන්නට හැකි වූයේ තොටියාට පමණි. ඔහුගේ ජීවිතයෙන් වැඩි කාලයක් ගෙවුණේ ද මේ වැව් දිය මතයි. ඔහුගේ ජිවන තත්ත්වය රඳා පැවතුනෙත්  දරු පවුල රැුකුණෙත් ඒ ලැබෙන සොච්චම් මුදලිනි. ගම්මානයේ සිට සිදාදියටත් සිදාදියේ සිට ගම්මානයටත් මිනිසුන් ගෙන යාම ඔහුගේ එකම කාර්යය විය. පහසු කටයුත්තක් නොවන මේ රැුකියාව ජීවිතයත් මරණයත් අතර සටනක් ම පමණකි. සොච්චම් මුදලක් වුවත් මුදලට වැඩ වැඩි වගකීමක් ඔහුගේ කර මත පැටවී තිබිණි.  ගතට දැනෙන මහන්සිය ගැන නොතකමින් ගමේ මිනිසුන්ට ප‍්‍රවාහන සේවය සැලසීමට  ඕනෑම අවස්ථාවක ඔහු සැදී පැහදී සිටියහ. 





                         ගමේ මිනිසුන් තමන්ගේ සෑම වැඩකදිම තවත් කෙනෙක්ගේ සහයෝගය ලබා ගැනීම එදා සිටම දක්නට ලැබෙන්නකි. ඔවුන් ළඟ පුදුමාකාර බැඳීමක් සහයෝගයක් එකමුතුකමක්  තිබූ අතර ගමේ ගොයම් කයියෙදි, ඉලව්වකදී, මඟුල අවස්ථාවකදී ම එකට එකතු වෙමින් දුක සතුට බෙදා ගන්නට ඔවුන් අමතක නොකළහ. සහයෝගය එකමුතුකම හේතුවෙන් ඔවුන් අතර තරහ මරහ ඇති නොවූ අතර අද මෙන් සුව පහසු නිදන කාමර, නාන කාමර, ඇඳුම් පැළඳුම් නොතිබුනද ඔවුන්ගේ ජිවිත සහයෝගයෙන් ගෙවිණි. 

              සරල මෙන්ම සැහැල්ලූ බවින් යුක්ත වූ ඒ ජිවිත වල කිසිඳු දුරස්ථ බවක් නොතිබූ අතර තොටියාගේ මහන්සිය තනිකම මුණ ගැහෙන ගැමියන්ගේ සුහදත්වය සමඟ නැතිව ගියේ ඒ නිසාවෙනි.


                                                  විවෘත ආර්ථිකයත් සමඟ නවීන වූ ගම්මාන සෑම තැනම නිර්මාණය වන්නට පටන් ගත් අතර  ගැමි අසිරිය ගැමියන්ගේ සිත් සතන් තුළින්ද ගිලිහෙන්නට විය. විවෘත ආර්ථිකය සමඟ මේ සියල්ල වෙනස් වී යන අයුරු පිළිබඳව හේමසිරි ගුණතුංගයන් පදවැල් ගොතන අතර අමරසිරි පීරිස්ගේ හඬින් පණ නැගෙන්නට විය. තොටියකුගේ අහිංසක දොම්නසක විවෘත ආර්ථිකය විවේචනයට ලක් කරමින් විරෝධාකල්පයක් ලෙස මෙම ගීතය ලිය වී ඇත. ගීතය බැලූ බැල්මට තොටියකුගේ ශෝකාලාපයක් පෙන්නුම් කෙරෙන අතර ගීතය පිලිබඳ හොඳින් විමසා බැලීමේදී ඒ තුළ ගැබ්ව තිබෙන ව්‍යංගාර්ථයක් දිස්වන අයුරු දක්නට ලැබේ. අමරසිරි පිරිසගේ හඬින් පණ ගැන්වෙන මෙම ගීතය තුළින් කියවෙන්නේ නූතන සංස්කෘතිය තුළ පවතින නවීනත්වය, වාණිජත්වය ගම්මානයට මෙන්ම අහිංසක  ගැමියන්ට බැළුම් හෙලා ඇති ආකාරයයි. 


කවුරුවත් නෑ කවුරුවත් නෑ
එගොඩට යන්නට එගොඩට යන්නට
ඉරගල වැටිලා ඉවුර දෙපැත්තේ
අඳුර ගලනවා පාරුව ඇතුළට
ලන්තෑරුම කෝ ඔහේ තිබුණාවේ
කවුරුත් නෑ අද එගොඩට යන්නට

                          අපේ රට විවෘත ආර්ථිකය සමඟ විශාල විපර්යාසයකට භාජනය විය. ගමේ ගැමිකම, ගැමි සංස්කෘතිය ඩැහැගත් ගම්මානයක ජිවත් වන වන අහිංසක තොටියකුගේ හඳ සන්තානයේ හට ගත්වේදනාව දුක දොම්නස මේ අයුරින් කියා පා ඇත. ”කවුරුවත් නෑ කවුරුවත් නෑ” යනුවෙන් ගීතය ආරම්භ කර ඇති අතර එහි අරුත වනුයේ මෙතෙක් කලක් පාරුවේ ආදාරයෙන් එතෙර මෙතෙර ගොඩ වන්නට පැමිණෙන පුද්ගලයන් කිසිවෙක් අද පෙනෙන්නට නැති බවයි. ඔවුන් ඒ සඳහා වෙනත් පිළියම් යොදාගෙන තිබේ. එගොඩට යන්නට වත් එගොඩ සිට මෙගොඩට පැමිණීමට වත් අද කිසිවකු නැති බව දක්වන කවියා ව්‍යංගාර්ථයෙන් පෙන්වා දෙනුයේ එගොඩට මෙගොඩට යන්නට කිසිවෙක් නැති කල තමන්ටද වෙනදා ලැබෙන සොච්චම් පඩිය වත් අද දිනයේ නොලැබෙන බවයි. වෙනදා ගම්මානයෙන් උදේ පටන් ? වන තුරු එගොඩ මෙගොඩ කරන්නට මිනිසුන් සිටි නමුත් අද ඒ කිසිවෙක් පෙනෙන මානයකවත් දැක ගත නොහැකිය. එනමුත් තොටියා තනිවම ඔවුන්ගේ පැමිණීම අපේක්ෂාවෙන් පෙරමඟ බලා සිටියි. 



                             
                                      ගැමි කමට නවීනත්වය එක් කරමින් වාණිජත්වය, විවෘත ආර්ථිකය ගම් දොරකඩට පැමිණ තිබේ. ඉඳින් තවත් සිතා නොබලා ගැමියන් එය වැළඳ ගනු ඇත. ක්ෂණිකව සිඳුකර ගත හැකි දේ සමීපයේ තිබියදී වෙනත් දේ වෙනුවෙන් කාලය විඩංගු කිරීමට කිසිවෙකු  කැමැත්තක් නොදක්වයි. මුදල් සොයා ගත හැකි මාර්ග මෙන්ම ජීවිතය පහසු කරමින් සංවර්ධනය ගම්මානය පුරා දිව යයි. ලහි ලහියේ ඉදි වන නිවාස, ගොඩනැගිලි මෙන්ම සෑම දෙයක්ම නවීනත්වය සමඟ වෙනස් වීම් වලට භාජනය වී ඇත. වාසිය පහසුව තකා ඒවා වැළඳ ගනු විනා තමන්ගේ පාරුවෙන් එගොඩ මෙගොඩ යාමට කිසිඳු අවශ්‍යතාවක් ඔවුන්ට නැත. මෙතෙක් කලක් තමන්ගේ දෑතේ සවියෙන් එගොඩ මෙගොඩ ගිය වුන් අද තමා දෙස වත් නොබලා යෑම නිසා ඔහු තඳ බල වික්ශෝපයකට පත්ව තිබේ. සිදාදියෙන් මෙතෙක් නොආ මහත්වරුන්ද අද ගම්මානයට විටින් විට පැමිණෙයි. ලහි ලහියේ එහෙ මෙහෙ දුවමින් ඔවුන් තම තමන්ගේ වැඩ වලය. තමා සමඟ දොඩමළු වන්නට අද කිසිවෙක් නැත. ඔවුන්ට පැවරී තිබෙන වගකීම් සමඟ ඔවුන්ගේ ජිවිත අතරමං ව ඇත.


                                  තමාට අද ඉතිරිව ඇත්තේ අවුරුදු ගණනක් අතේ රැුඳී තිබූ පරණ හබලත් අබලන් වී ඇති පාරුවත් පමණි. මහ ලොකු මුදලක් නැතත් ලැබෙන සොච්චම් මුදලින් දරු පවුල රැුක ගැනීමට ඔහුට හැකි විය. අද එය ද තමන්ගෙන් ගිලිහී ගොසිනි. නූතන සමාජය ඉදිරියේ තමන්ට හිමි රැුකියාවද අහිමි වී ගොස් ඇත. 



                                                      ආර්ථිකය විවෘත වුනත් දුප්පතාට හිමිවන්නේ උරුම කර ගත් දුක්ඛිත දිවි පෙවෙතමය. සමාජය වෙනස් වීමත් ලෝකය අලූත් වීමත් මිනිසුන් අලූත් විදියට සිතන්නට වැඩ කරන්නට පටන් ගැනීමත් අලූත් අලූත් දේ නිර්මාණය වීමත් නවීකරණය වූ සමාජයත් සමඟ සිදුවන විපර්යාසයන්ය. නමුත් එම විපර්යාසයන් දරා ගැනීමට මෙන්ම එම විපර්යාසයන්ට අනුකූලව වෙනස් නොවන පිරිසක්ද ඇත. එසේ වෙනස් වන්නට වෙනස් වන පරිසරයට අනුව හැඩ ගැසෙන්නට සෑම පුද්ගලයකුටම හැකියාවක් නැත. ඔවුන් සමාජයේ යම් ස්ථානයක පසු වන අතර ඉන් ඉදිරියට යාමට නොහැකිය. මෙහිදී තොටියාද එවැනි පුද්ගලයෙකි. ඔහුට මෙම වෙනස්වීම් දරා ගත නොහැකිය. එක්කෝ වෙනස් වීම් වලට අනුව වෙනස් විය යුතුය. රැුකියාව නතර කර වෙනත් රැුකියාවකට යාමට අවශ්‍ය වුවත් නූතන සමාජය තුළ සිට ඔහුට සරිලන රැුකියාවක් සොයා ගත හැකිද යන්න ප‍්‍රශ්නයකි. ඔහු ජිවිතයෙන් අතරමංව ඇත්තේ එබැවිනි.


ඉරගල වැටිලා ඉවුර දෙපැත්තේ
අඳුර ගලනවා පාරුව ඇතුළට

             ගීතයෙන් කියවෙන පරිදි තොටියා උදේ සිටන්ම තොටුපළ අයිනට වී බලා සිටින්නට ඇත. උදේ සිටම තමන්ගේ සේවය සොයමින් පැමිණෙන කෙනෙකු වේදැයි ඔහු ඔහු මඟ බලමින් සිටී. උදෑසන සිට සවස් වන තුරු මෙලෙස පාරුවට වී බලා සිටියද කිසිවකු ඔහු සොයා නොපැමිණෙයි. වෙහෙස මහන්සියක් දැනුනද වෙනදාට නම් මිනිසුන් සමඟ දොඩමලූ වෙමින් පාළුව කාන්සිය මකා ගනී. අද ඔහු සමඟ තිබෙන්නේ පාළුව, කාන්සිය, දුක, ශෝකය පමණකි. 

                                       

 හිරු බැස ගොස් ගොම්මන් කළුවර එබිකම් කරන සැන්දෑ යාමයේ තවමත් ඔහු සිටී තැනටම වී එතෙර මෙතෙර බලා සිටී. දසත කළුවර කරමින් හිරු බැස යමින් තිබේ. අවට පරිසරය තුළ මෙන්ම පාරුව තුළටද කෙමෙන් අඳුරු සේයා පටල ගලා එයි. ගීතය පුරාවටම කෙරෙන්නේ තොටියෙකුගේ ශෝකාලාපයක් වුවත් ඒ තුළ ගැබ්ව ඇති ව්‍යංගාර්තයකි. දිසි අරුතට වඩා ගැඹුරු වැසි අරුතක් ගීතයට එක් කිරීමට කවියාට හැකියාව ලැබී ඇත. හිරු මෙන් නැඟ එමින් තිබූ තමන්ගේ ජීවිතය අඳුර නැමැති නාගරීකරණයෙන් වෙලා ගනිමින් ඇත.නාගරිකත්වය නොවන්නට අදටත් මේ ගැමි සමාජය වෙනදා මෙන් තමන්ගේ සුපුරුදු ජීවිතය පවත්වාගනු ඇත. පාරුව තුළට මෙන්ම තමන්ගේ ජිවිතයටද අන්දකාරය පැමිණෙමින් තිබේ. 

                                සමාජය තුළ සිඳුවන වෙනස් වීම අලූත් වීම සංවර්ධනයට හේතු වන මුත් එම වෙනස් වීමෙන් සමාජය විනාශය කරා ලඟා කරයි නම් සිඳුවන සංවර්ධනයේ ඵලක් නැත. තමන්ගේ වෘත්තීය මෙන්ම ගමේ තිබූ ගැමි සිරියාවද කෙමෙන් කෙමෙන් නාගරීකරණය ගිල දමමින් ඇති බව තව දුරටත් කවියා පෙන්නුම් කරයි. සමාජ සංවර්ධනය කරමින් නාගරීකරණය ගමට පැමිණෙමින් ඇත. පාරුවට අඳුර වැටෙමින් ඇති සේම තමාගේ ජීවිතයද අඳුරින් වැසී යමින් ඇත. 

ලන්තෑරුම කෝ ඔහේ තිබුණාවේ
කවුරුත් නෑ අද එගොඩට යන්නට
               
               වෙනදාට නම් මේ වන විට  පාරුව තුළ ලන්තෑරුම් එළිය දැල්වේ. වෙනදාමෙන් අදත් ලන්තෑරුමේ එළිය දැල්විමට ඔහු එය සොයන නමුත් අද වෙනදා මෙන් ඔහුට සොම්නසක් සිතට දැනෙන දිනයක් නොවේ. අද ඔහුගේ හඳවත පුරා ගලන්නේ දොම්නස පමණි. ඉදින් කවුරුත් නොයෙන මේ පාරුවට ලන්තෑරුම් එළිය කුමටද? වෙනදාට නම් ඔහුගේ අතමිට සරුව පවතින අතර මිල මුදල් අතේ රඳවාගෙන දරුවන්ගේ කුසගිනි නිවීමට ප‍්‍රමාණවත් මුදලක් ඔහු අතේ පවතින නමුත් අද එසේ නොවේ. ඔහුට අද මුදල් තබා කිසිවෙකු ඔහු වෙනුවෙන් පාරුවට ගොඩ වුයේ නැත. වෙළඳ ආර්ථිකය, නවීකරණය හා සංවර්ධනය යන සංකල්ප ඔස්සේ සමාජය විවිධ පැතිකඩ ඔස්සේ ඉදිරියට ඇදේ. සමාජය නවීකරණය වුවත් තමාට සිටි තැනින් නැවත වෙනස් වී ඉදිරියට යාමට හැකියාවක් නැත. තමන්ගේ ජීවිතය රැුඳී තිබුණෙත් තමන්ගේ දෑතේ සවියෙන් එහෙට මෙහෙට ගෙන යන පාරුවේ බලයෙනි. 
                             
කවියා ව්‍යංගාර්ථයෙන් පවසන්නේ අඳුරට එළියක් වන ලන්තෑරුම් එළියක් මෙන් නවීකරණය වන සමාජය ඉදිරියේ ඔහුට වෙනස් වන්නට විකල්ප මාර්ගයක් තෝරා ගන්නට අවශ්‍ය වුවත් එසේ කිරීමට තරම් ධෛර්යයක් තමන්ගේ සිතට ඇති වන්නේ නැත. එක්කෝ  තොටියා තමා යන ඒ මඟින් නැවතිය යුතුය. නැතිනම් විකල්ප මඟක් සොයා ගත යුතුය. එසේ නොවන්නට තමන්ගේ පාරුව මෙන් ඔහුද සිටි තැනම නතර වී ඇත. 

දවසින් දවසට පාලම හැඳුනා
පාලම් මොලේ හෙණ හඬ ඇසුණා

        දවසින් දවස ගෙවෙමින් ලහි ලහියේ පාලමේ වැඩ කටයුතුද නිම වෙමින් පවතී. දවසින් දවස තමන්ගේ ජිවන තත්ත්වයද පහළ බසිමින් ඇත. පාලම නම් වූ නවිකරණයේ සංකේතයද මිනිසුන් හමුවට පැමිණ ඇත. නවීකරණය, විවෘත ආර්ථිකය කෙමෙන් හිස ඔසවද්දී මිනිසුන් ළඟ තිබුණු ගැමිකම, ගැමි සංස්කෘතිය වල් වදිනු ඇත. පාලම හැදෙද්දී කම්කරුවන් සේම උපකරණද වැඩ කරයි. කවියාට එම ශබ්දය දැනෙන්නේ මෝලක ශබ්දය ලෙසිනි. පාලම හදෙද්දී වැඩ කරන කම්කරුවන්ගේ හඬ විවිධ යන්ත්‍රෝපකරණ වල හඬ හෙණ හඬක් ලෙස සවනට දැනේ. ගම්මානයේ තිබූ මිහිරියාව, ගැමි සුවඳ, වැව් සිසිල අද දැනෙන්නේ නැත. ඒ වෙනුවට කළු දුමාරයකින් ගම්මානය වැසී ගොස් ඇත. යන්ත‍්‍ර සුත‍්‍ර නිසා ගම්මානයේ තිබූ නිස්කලංක බව නිස්කලංක වට පිටාව නැතිවී ගොස්ය. ඒත් සමඟම කවියා දක්වනුයේ, 

කිරල කැලෑවේ කුරුළු කොබෙයියනි
ගම හැරදා යන්න ගිහින්
        
                                       විවෘත ආර්ථිකය හේතුවෙන් ගමට සිඳුවන සංවර්ධනයට වඩා සිඳුවන විනාශය ඉහළය. ගම්මානයේ සුන්දරත්වය වැඩි කරමින් ලඳු දෙණි කැලෑ වන වඟුරු දැකගත හැකිය. ගී පද රචනයට අනුව ගම්මානයේ කිරලූන්ගෙන් ගහනය වූ කැලෑ බිමක් පිහිටා ඇත. කුරුළු කොබෙයියන්ගෙන් ගහණය වූ පරිසරයක් එහි තිබෙන්නට ඇත. ඔවුන්ගේ මිහිරි නාදය ගම සුවඳවත් කරන්නට ඇත. ගමේ තිබූ නිහැඩියාව දුරු වන්නේ මේ කුරුළු කොබෙයියන්ගේ සුන්දරත්වයෙනි. නමුඳු අද ගම්මානයේ නිහැඬියාව දුරු කරන්නේ කුරුළු කොබෙයියන්ගේ නාදයෙන් නොවේ. විශාල යන්ත‍්‍ර වලින් වැඩ කරන විට නැගෙන ඝෝෂාවෙනි. ගමේ සුන්දරත්වය වැඩි කරන්නට සිටි කුරුළු කොබෙයියන්ද ඉගිළ ගොසිනි. ගම් දනව් වල ඉඟිල ගොසින් නිදහසේ ජිවත් වූ ඔවුන්ට අද ගම්මානයේ තිබූ නිදහසද අහිමි ව ගොසිනි. මෙහිදී කවියා උත්සාහ කරන්නේ ගමේ තිබූ නිදහස මේ නවීනත්වය සමඟින් නැතිව ගොස් තිබෙන බවයි. ගමේ සිටි කුරුළු කොබෙයියන් සේම තමාටත් මේ ගම්මානයෙන් නිදහස් පරිසරයකට තමන්ට වෙනදා මෙන් ජිවත් විය හැකි පරිසරයකට යන්නට හැකි වේ යයි සිතන්නට ඇත.  



                තොටියා තමාගේ ජීවිතය රැුක ගැනීමට කල එකම රැුකියාව වන්නේ පාරුව පැදවීමයි. පාරුව පදවමින් කල එකම රැුකියාවත් අද අවසන් වී ඇත. දෑතේ ඇඟිලි ගෙවෙන තුරු පාරුව පදවමින් ජිවිතෙන් වැඩි කාලයක් මේ වැව් දියටම දියවී ගොසිනි. ” දෑතේ අතැඟිලි හබලට ගෙවුණා” යනුවෙන් ගීත රචකයා දක්වා ඇත්තේ එබැවිනි.


දෑතේ අතැඟිලි හබලට ගෙවුණා
ගෙනයන්නට බැරි බර පොදි සැදුණා

                    තමන් මේ රැුකියාවේ නියැලී සිටම තමන්ගේ ජිවිතයද ඒ වෙනුවෙන් දියවී ඇත. හබල සේම දෑත් වල ඇඟිලි ද අද ගෙවී ඇත. තමන්ගේ රැුකියාව ඔහු ඉතාමත් හොඳින් සේම අවංකව ඉටු කර ඇත. තමන්ගේ සේවය ලබා ගන්නා කාලයේදී මිනිසුන් නගරයේ සිට ගමටත් ගමේ සිට නගරයටත් බඩු බාහිරාදිය රැුගෙන ගිය අතර සමහර අවස්ථා වලදී  ඔහු පාරුවට දරා ගැනීමට බැරි තරම් බඩු රැුගෙන යන්නට සිඳුවූ අවස්ථා ද තිබෙන්නට ඇත. ගෙනයන්නට බැරි තරමට බඩු පොදි රැුගෙන යන්නට සිඳුවිය. 

මෙතුවක් නොම ගිය බර අද දවසේ
මට හිනැහී ගෙන යනවා වාගෙයි

                 තොටියා අත්දැකීම බහුල පුද්ගලයෙකි. ඔහු පාරුවට මෙන්ම එගොඩට හා මෙගොඩටද ගැලපෙන හා සුදුසු බර ප‍්‍රමානයන් හොදාකාරවම දනී. සමහර අවස්ථා වලදී එම බඩු භාහිරාදිය රැුගෙන නොයන්නටද ඔහු තීරණය කරන්නට ඇත. මන්ද නගරයෙන් ගමට රැුගෙන එන එම භාණ්ඩ නිසාවෙන් ගම්මානය විනාස වන බැවිනි.නමුත් අද ඔහුගේ වාරණයට ලක්වූ නොගැල්පෙන බර පවා නව පාලමින් ගමට පැමිණෙමින් ඇත.තොටියාගේ වාරණය එනම් අපේ සංස්කෘතිය සදාචාරයන් ට පටහැනි ද්‍රව්‍ය මේ විවෘත ආර්ථිකය හරහා අපේ ගම් බිම් වසා ගෙන ඇත. ඒ අතර මත්ද්‍රව්‍ය, අපචාර, අසැබි චිත‍්‍රපට වැනි විනාෂකාරී දේවල් ද ගමට පැමිණ ඇත.අවාසනාට මේ දේවල් ගමට එන්නේ තොටියාගේ වාරණයට එනම් අපේ සංස්කෘතියට සදාචාරයන්ට හිනා වෙමිනි. ඔච්චම් කරමිනි, යටපත් කරමිනි.
                                                                                 තොටියා එම බර පොදි රැුගෙන යන්නට එදා අකමැති වුවද අද ඒවා කිසිදු අවසරයකින් තොරව ගමට පැමිණ ඇත. තමා ප‍්‍රතික්ෂේප කල දේ අද ඔහුට සමච්චලයට මෙන් සිනාසී යන අයුරු ඔහුට බලා සිටීමට සිඳුවී ඇත. නාගරිකරණයත් සමඟ  සිදාදියෙන් ගමට නොයෙකුත් දේ ගෙන ඒමත් ගැමියන්ගේ නොදැනුවත් කම හේතුවෙන් සෑම දෙයක්ම් භාර ගැනීමත් සිඳුවෙමින් ඇත. එමඟින් සිඳුවන්නේ ගම විනාශ මුඛයට ඇද දැමීමයි. ගමේ ජිවත් වන ළමා තරුණ පරපුර විනාශ වී යාමයි. ඔවුන් අතට ලැබෙන දේ ඔවුන් යහපතට වඩා අයහපතට ඇද දැමීමට හේතු වනු ඇත. නගරයත් ගමත් වසා ගෙන තිබෙන මෙම ආර්ථික රටාවෙන් මිනිසුන් වෙනමම සංස්කෘතියකට හැඩ ගස්වනු ඇත. අතීතයේ මෙන් ගමේ තිබූ ගැමි සුවඳ අද නැත. සමාජය පිරිහෙමින් ඉදිරියට ඇදේ. අලූතින් සාදා ගත් පාලමම අද ගමේ විනාසයට පාර කපමින් ඇත. පාලම උඩින් ගෙන එන සෑම දෙයක්ම ගමේ ජනතාව  තෝරා බේරාගැනීමකින් තොරව පිළිගැනීමත් සමඟ කාලයත් සමඟ ගමට හෙරොයින්, අසැබි චිත‍්‍රපට, කුඩු ගංජා සිකරට් වැනි මිනිසුන් මානසික ව්‍යාකුලතාවන් ඇති කරන දේ පවා ගම්මානයට ගෙන එන්නට විය.ගමේ තිබූ දේශීය දේ වෙනුවට නොයෙකුත් ආදේශක ගෙන්වන්නට වූ අතර විදේශීය දේ වලින් ගම්මානය වැනසෙමින් ඇත. 








No comments:

Post a Comment

ඉන්දියානු සාහිත්‍ය කලා ක්ෂේත්‍රයේ පුරෝගාමියා    වන  රබීන්ද්‍රනාත් තාගෝර්...... ඉ න්දියානු අනන්‍යතාවයේ සංකේතය වශයෙන් සැලකෙන රබී...